එයාක්‍රාෆ්ට් ඉංජිනියර්ස්ල දෙන්නෙක්ට දවසක් කටුනායක එයාපෝර්ට් එකේ රෑ වැඩලු. වැඩ ඉවර වෙලා මුං දෙන්න පොඩි ඩ්‍රින්ක් එකක් දාමු කියල කතාවෙලා. ඒත් වැඩ ඉවර වෙන වෙලාව වෙද්දි පට්ට විදියට වහිනවලු. එලියට යාගන්න විදියක් නෑ.
පලවෙනියා : මචං මොකද කරන්නෙ? මට නම් අද බොන්නම ඕනෙ
දෙවනියා : මචං මම අහල තියෙනවා ජෙට් ෆුවල් වලට වෙරි වෙනව කියල. බීල බලමුද?
පලවෙනියා : වෙරි වෙනව නම් ඕනෙ මගුලක්. ගහමු බං
ඔන්න දෙන්න සෙට් වෙලා ජෙට් ෆුවල් ගහලා කුජීත වෙන්නම.
පහුවෙනිද උදේ පලවෙනිය නැගිටල බලද්දි කිසිම ඇඟට අමාරුවක් නැහැලු. කලින් දවසෙ බිවුව කියල දැනෙන්නෙවත් නැහැලු. ඔය අස්සෙම මූට කෝල් එකක් ආවලු දෙවනියගෙන්.
දෙවනිය : මචං උඹට කොහොමද?
පලවෙනියා : මචං කිසිම අමාරුවක් නෑ, බිවුව කියලවත් ගානක් නෑ. උඹට කොහොමද?
දෙවනියා : මටත් කිසිම අමාරුවක් නෑ බං
පලවෙනියා : එහෙනම් අපි ආයෙ දවසක සෙට් වෙලා ජෙට් ෆුවෙල් ගහමු. ඒක පට්ට ඩ්‍රින්ක් එක
දෙවනියා : පොඩි අවුලක් තියෙනවා
පලවෙනියා : ඇයි මචං?
දෙවනියා : උඹට පඩයක් එහෙම ගියාද?
පලවෙනියා : නෑ බං
දෙවනියා : පඩ නම් යවන්න එපා, මම දැන් ඉන්නෙ යාපනේ
කෙල්ලෙක්ව පලවෙනි සැරේට හම්බ වෙන්න යනව කියන්නෙ කොච්චර උනත් පොඩ්ඩක් හිතට බයක් දැනෙන වෙලාවක්. මේ කියන්න යන්නෙත් ඒ වගේ කෙල්ලක්ව පලවෙනි සැරේට හම්බ වෙන්න යන්න ගිහින් වෙච්ච සීන් එකක්. කෙල්ල මගේ හොඳ යාලුවෙක්. ඒත් මේ කියන දවස වෙනකම් එහෙම ඩේට් එකක් විදියට ඒ කෙල්ල එක්ක එලියට ගිහින් නෑ. මුලින්ම හොඳ යාලුවෙක් විදියට ආශ්‍රය කරත් පස්සෙ ඉතිං යාලුකමට වඩා සෑහෙන්න කෙල්ලව හිතට අල්ලලා ගිය නිසා කොහොම හරි අමාරුවෙන් ලන්ච් එකට එලියට යන්න ඇහුව කියමුකො. ඊට පස්සෙ තමා අමාරුම රාජකාරිය. අනික එලියට යන්න අහන්න හිතන් හිටියට ඇහුවෙ මමවත් ප්ලෑන් නොකරපු දවසක.
මට මතක විදියට එදා ඔෆිස් දාන් ආවෙත් ස්ලිපර්ස් දෙකක්. මගේ සාමාන්‍ය කිට් එක තමා ඇඳල හිටියෙත්. ඕව ගැන හිතන්නෙ නැතුව ගිහින් කෙල්ලවත් පික් කරාට පස්සෙ තමා මතක් උනේ ලන්ච් වලට එලියට යමු කිවුවට හරියටම යන තැනක් ඩිසයිඩ් කරේ නෑ කියල. මොකද දන්න තැන් කීපයක් ඔලුවෙ තිබ්බට කෝකට යනවද කියල හිතා ගන්න බැරුව හිටියේ. කෙල්ල ඉස්සරහ නෝන්ඩි උනත් කමක් නෑ කියල යාලුවෙක්ට කෝල් කරල මගේ හිතේ තියෙන තැන් වලින් හොඳම තැන කොතනද කියල අහ ගත්තා. මොකද ඔය කියන තැන් වලින් යාලුවො එක්ක ගිහින් කාල බීල තිබ්බට කෙල්ලක් එක්ක කවදාවත් ඒ එක තැනකට වත් මම ගිහින් තිබුනෙ නෑ.
ඉතිං ඔය කියපු තැනට ගිහින් ඕඩර් කරා ස්ටීම් රයිස්, තායි චිකන් කරි, සිස්ලිං බීන් කර්ඩ්. කෑමට කලින් සොෆ්ට් ඩ්‍රින්ක්ස් ආව මෙලෝ රහක් නෑ. බලද්දි ඒ දවස් වලම වගේ එතන මැනේජ්මන්ට් එක මාරුවෙලා. අලුතින් ආව උන් මෙලෝම රහක් නැති විදියට තමා රෙස්‍ටුරන්ට් එක කරගෙන යන්නෙ. ඒ ඔක්කොම අස්සෙ ලොකුම ප්‍රශ්නෙ යාලුව නිසා මෙච්චර කල් "මචං" කිය කියනෙ හිටියෙ. දැන් මෙයාට මොකක් කියලද කතා කරන්නෙ. මට විතරක් නෙමේ ගෑනු ලමයටත් ඒ ප්‍රශ්නෙ ඒ විදියටම තියෙන බව මට තේරුනා. ඉතිං දෙන්නම වෙලාකට "ඔයා, මෙයා" ආයේ ටික වෙලාවක් යද්දි සුපුරුදු විදියටම "මචං".
එදා රෙස්‍ටුරන්ට් එකේ අපි ඇරෙන්න බල්ලෙක්වත් නෑ. වේටර් කාරයො තුන්දෙනෙක් අපේ පිටිපස්සෙ ටේබ්ල් එකේ වාඩි වෙලා ඉන්නව. උන්ට අපි කියන දේවල් හොඳට ඇහෙනව. ඇහුනත් ඉතිං ගානකුත් නෑ, මොකද අපි රටේ ලෝකෙ ඕපදූප මිසක් කිසිම වැදගත් දෙයක් කතා කරෙත් නැහැනෙ. කෑමත් ටික වෙලාකින් ආව, බල්ලෙක්ටවත් කන්න බැරි විදියට හදල තියෙන්නෙ. ලැජ්ජාවටම මම හොඳට බෙදාගෙන කෑව. කෙල්ල නම් බත් කටක් විතර කාල බඩගිනි නෑ කියල කන්නෙ නැතුව හිටිය. එතකොට නම් ඇත්තටම පොලව පලාගෙන යන්න හිතුන. මොකද මෙතෙන්ට එද්දි මම වීරය වගේ "මෙතන කෑම පට්ට" කියල කිය කිය ආවෙත්.
කාල ඉවර වෙද්දි වේටර් මල්ලි කියනව "සර් දැන් තමා සිස්ලිං බීන් කර්ඩ් එක රෙඩි උනේ" කියල. එතකොටයි මතක් උනේ උන් ඒක ගෙනෙල්ල තිබුනෙ නෑ කියල. කොහොම හරි බිලත් ගෙවල කෙල්ලවත් ඩ්‍රොප් කරල ගෙදර ආවෙ ජීවිතේට මේ වගේ කුජීත ෆස්ට් ඩේට් එකකට නම් ගිහින් නෑ කියල හිතාගෙන.
හොඳ වෙලාවට මොනා උනත් මගේ කුජීත උනා කියල හිතපු ෆස්ට් ඩේට් එක ඒ ගෑනු ලමයටත් කිසිම අවුලක් වෙලා නෑ. නැත්නම් ඉතිං මෙහෙම යසට පවුල් කන්නද? ;-)
යාලුවා : මචං කොහොමද ඩේට් එක
මම : මෙලෝ රහක් නෑ බං, කෙල්ලට මාව නෝන්ඩි වෙච්ච එක විතරයි උනේ
යාලුවා : කියපං මොකෝ උනේ?
ඔන්න ඉතිං මම ඌට මුල ඉඳන් සිද්ධිය පැහැදිලි කරා.
යාලුවා : ඕක හොඳයි බං, මම ඔයිට වඩා චාටර් උනා ෆස්ට් ඩේට් එකකදි?
මම : කියපං මොකක්ද උනේ?
යාලුවා : මම කෙල්ල එක්ක කොෆි බීන් ගියා බං. ටේබල් ඔක්කොම පිරිලා. යන්තම් එක ටේබල් එකක් සෙට් කර ගත්තා. ඕඩරේ දාල ඉවර උනාට පස්සෙ වේටර් මගේ ලඟට ඇවිත් කනට කරල කිවුව එකට මට තරු පෙනුනා
මම : ඇයි බං මොකද උනේ?
යාලුවා : නෑ බං, මගේ කලිසම පිටිපස්සෙන් හොඳටම පහත්වෙලා. අපේ පිටිපස්සෙ ටේබල් එකේ හිටිය ෆොරින් කෙල්ලො සෙට් එක කුප්ප කමට වේටර්ට ඒක කියල. ඌ ඇවිත් මට කිවුවා "සර් කලිසම පොඩ්ඩක් උස්සගන්න" කියල
මම : ඉතිං උඹ මොකද කරේ?
යාලුවා : මොනා කරන්න්නද බං, අර කෙල්ලො හිනාවෙන අස්සෙ මම නැගිටලා කලිසම උස්සගත්තා
මෙදා පාර අවුරුද්දේ නැකැත් තිබුනෙ මෙලෝ රහක් නැති වෙලාවක. 12 , 13 දවස් දෙකේ ගමේ යන්නත් විදියක් නැති නිසා සෙට් උනා ටීවී එක ඉස්සරහට මොකක් හරි ඒකෙ යන දෙයක් බලන්න කියල. තාම සැටලයිට් ටීවී අරන් නැති නිසා බලන්න තිබුනෙ ලෝකල් චැනල් ටික තමා.
මුලින්ම දැම්ම චැනල් එකේ ඉන්නව තරුණ ගායකයො කට්ටියක්. ඔක්කොමල්ල සරොම් ඇඳගෙන මාරම පිලිවෙලට ඇවිත් හිටියෙ. හැබැයි වැඩසටහන කරන එකාත් සරමක් ඇඳන් හිටියට උගේ කොන්ඩෙට නම් කරන්ට් වැදිල වගේ. චැනල් කීපයක් මාරු කරල බැලුවමයි පෙනුනෙ හැම චැනල් එකේම නිවේදකයන්ට අවුරුදු තිබුනෙ සරමෙන් විතරයි. යකෝ සරම ඇන්දනම් පොඩ්ඩක් පිලිවෙලකට කොන්ඩෙත් පීරන්න බැරිද? කමක් නෑ කොන්ඩෙ මගෙයැ.
ඔහොම චැනල මාරු කර කර යද්දි එක චැනල් එකක යනව නලු නිලියොන්ගෙ අවුරුදු උත්සවයක්. ඔන්න ඉතිං ඒකවත් බලමු කියල සෙට් උනා. මෝඩ ජෝක් ගොඩක් ගියත් අනිත් ඒවට වඩා ටිකක් විතර බලන් ඉන්න පුලුවන් ගතියක් තිබ්බ නිසා ටික වෙලාවක් ඒක බලාගෙන හිටියා. ඒ අස්සෙ දැක්කා අලුත්ම අවුරුදු ක්‍රීඩාවක් "තේ යාරෙ දාන්න". ඒක නම් කමක් නෑ කියමුකො. මම හිතුවේ දිගම යාරෙ දාන කෙනා දිනනවා කියල. හැබැයි කැකිල්ලෙ රජ්ජුරුවොන්ගෙ විනිශ්චයකින් දිගම යාරෙ දැම්ම කෙනා ඉද්දි වෙන කෙනෙක් දිනුවා.
ආයෙත් චැනල් මාරු. මෙදා පොටේ ජෝතිශ්ය අය්යලා ටිකක් සහ හැමදාම අවුරුද්දට විතරක් ටීවී කාරයන්ට මතක් වෙන රටේ වැඩිහිටියො ටිකක් විද්වත් සාකච්චාවක. වැදගත් දේවල් එකක් දෙකක් කතා උනත් ගොඩක් අය අලුත් අවුරුද්ද විද්‍යාත්මකව පහරන්න ගිහින්, එහෙමත් නැත්නම් ජාතික උත්සවයක් උන අලුත් අවුරුද්ද ආගමික උත්සවයක් කරන්න ගිහින් එතන නාගන්න නෑම දැක්කම ආයෙත් චැනල් එක මාරු කරන්න හිතුනා.
මෙන්න බොලේ අලුත් ඇඩ් එකක් යනව, අලුත් අවුරුද්දට නෑගම් යන එක වැඩිහිටියන්ට බුලුත් දෙන එක පෙන්නන. බුලුත් හුරුල්ලෙ තියල දෙන්නෙ සල්ලි නෙමේ ලොතරැයියක්. ඇඩ් එකට ඉන්නෙත් ලංකාවෙ නමගිය වැඩිහිටියෙක් වගේම අපි හැමෝම ගරු කරන නලුවෙක්. මම හිතන්නෙ අලුත් අවුරුද්දෙ ආන්ඩුවෙන් ප්‍රකාශ කරාද දන්නෙ නෑ ලොතරැයි කියන්නෙ මේ අවුරුද්දෙ ඉඳන් සූදුවක් නෙමේ, ජන ක්‍රීඩාවක් කියල.
බලාගෙන ගියාම අවුරුද්දත් දැන් නිකම්ම නිකම් වෙළඳ ප්‍රචාරණයක් විතරක්ම වෙලා. කොයි චැනල් එකෙත් අර පරන පුරුදු තැටියම තමා ගහන්නෙ. කම්මැලි කමට ටීවී එක ඕෆ් කරල පත්තරයක් කියවන්න බැලුව. ඔන්න තියෙනව පට්ට ආටිකල් එකක්. මත්පැන් සහ දුම්වැටි මිල වැඩිවීම සම්බන්ධයෙන් රටේ පිලිගත් කාන්තාවන්ගේ අදහස්. ඕනෙ පුකක් කියල මමත් කියවලා බැලුවා.
ඒ අය කියන විදියට මත්පැන් දුම්වැටි පාප ක්‍රියා නිසා, එහෙම නැත්නම් සෞඛ්‍යට අහිතකරයි, ඒක නිසා ගනන් වැඩි කරපු එක හොඳයි. ඉතිං යකඩෝ ඕව වැඩි කරේ අපේ සෞඛ්‍ය ගැන හිතලද? නැත්නම් ආණ්ඩුවට බජට් බැලන්ස් කර ගන්න බැරුවද? ඔය කියන ලබ්බවල් ඔච්චරම නරක නම් ඇයි ආණ්ඩුවට බැරි ඔය ඔක්කොම රෙද්දවල් තහනම් කරල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මතට තිත" තියන්න?
කසාද බඳින ඕනෙ එකෙක්ට බැන්දට පස්සෙ අලුත් ජීවිතේකට හුරුවෙන්න වෙනවා. ඒක සිරාද කට්ටක්ද කියල නම් තීරණය වෙන්නෙ තමන්ගෙ සහකාරිගෙ හැරියට තමා.
තමන්ට තේරුම් ගන්න පුලුවන්, තමන්ව තේරුම් ගන්න ගෑනියෙක් එක්ක ජීවත් වෙන්න හරිම ලේසියි. අනික තමන් ජීවත්වෙන වටාපිටාව එක්ක ගෑනිට හැඩගැහෙන්න බැරිනම් ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.
අනික වැදගත්ම දේ තමන් ඉන්න විදියට ආදරේ කිරීම මිසක් බැඳල මිනිහව තමන්ට ඕනෙ විදියට හදාගන්න යන එක නෙමේ. ඉතිං ඔය ඔක්කොම ගත්තම මට නම් කසාද ජීවිතේ ඇත්තටම මල්.
ඒත් සහකාරි කවුරු උනත් සමහර දේවල් නම් වෙනස් වෙන්නෙ නෑ. කොයි ගෑනිටත් ශොපිං කිවුවොත් ඉතිං ඊට වඩා දෙයක් නෑ. ඔය වගේ හැම ගෑනිගෙම සිස්ටම් එකේ හාඩ්කෝඩ් වෙච්ච සමහර දේවල් තියෙනව හැම ගෑනියෙක්ටම පොදු. මේ පහල තියෙන්නෙත් ඒ වගේ දෙයක් ගැන කන්වර්සේශන් එකක්.
ඇය : අනේ අද සිකුරාද, අපි එලියෙන් කමුද?
ඔහු : එහෙනම් මම එහා පැත්තෙ කඩෙන් ආප්ප ටිකක් ගේන්නද?
ඇය : ශික්, එතන හරිම අපිලිවෙලයිනෙ
ඔහු : හරි මෙහෙම කරමු. කේෆ්සී හරි මැක් හරි යමුද? ඉක්මනට කාල එන්න පුලුවන්නෙ
ඇය : අපෝ ඒව ජන්ක් ෆුඩ් නේ. ඒව හරියන්නෙ නෑ
ඔහු : එහෙනම් පීස හට් එකෙන් ඕඩර් කරමු
ඇය : අපෝ දැන් ඒකෙ කෑම මෙලෝ රහක් නෑ
ඔහොම ඔය කතාව සෑහෙන වෙලාවක් ගිහින් තමා ඉවර වෙන්නෙ. ඔය කතාව මෙහෙම උනොත් කොහොමද?
ඇය : අද අපි එලියෙන් කමුද?
ඔහු : හරි, කොහෙද අපි යන්නේ?
ඇය : ලඟ කඩෙන් ආප්ප ටිකක් ගේමු
ඔහු : අපි එලියට ගිහින් කමුකෝ
ඇය : නෑ අපරාදේ සල්ලි, ලඟ කඩෙන් ආප්ප කමු
මෙහෙම වෙන්න රහස මොකක්ද?
හරිම සරලයි. මාසෙ මුල මාසෙම කෑමට ගානක් වෙන් කරලා (තමන්ගෙ පඩියෙ හැටියට) ඒක වයිෆ් අතට දෙනවා. දැන් කොහෙන් කෑවත් ඒ අරමුදෙලෙන් තමා කෑමට වියදම් වෙන්නෙ. කරලම බලන්න වැඩේ කොහොමද කියල.
ප.ලි. : මම අමාරුවෙන් ඉගෙන ගත්තට මේ සිස්ටම් එක දැනටම පාවිච්චි කරන උන් හුඟක් ඇති කියල හිතෙනව.

පාදඩ ඇමරිකන් කාරයා අපිට කෙලියේය. ඌ ලොව වටා මොන තරම් කුපාඩිකම් කලත් උගේ ඇහේ තියෙන පොල් පරාලයට වඩා අපේ ඇහේ තියෙන පොල් කෙන්ද ලොකු නිසා ඌ අපේ මගුල් වලට හොට දාන්නට ආවේය.
ඒත් පක්ශ විපක්ශ ඔක්කොම එවුන් සද්ද නැතුව හිටියේ ඇමරිකන් කාරයාට ඇති බයට වෙන්නට ඕනෑය. වෙන්න යන්නේ මොකක්දැයි නිහඬව මම බලාසිටියෙමි. එකෙක්වත් කිසිම සද්දයක් නැත.
ජරමර අස්සේ අපේ දේශහිතයිශී ජාතිමාමක ලොකු අය්යා සීන් එකට එන්ටර් විය. ලොකු අය්යා මාරාන්තික ලෙමන් පෆ් උපවාසයක් කරනතෙක් අපි බලා සිටියෙමු. ඒත් එහෙම එකක් නම් උනේ නැත.
ඒත් ලොකු අය්යා ගේම අත ඇරියේ නැත. ලොකු අය්යා අපිට ඇමරිකන් දේවල් වර්ජනය කරන්නැයි කීවේය. ඒත් අපේ අසමජ්ජාති උන් ඒවා ගනන් නොගෙන ඇමරිකන් පිටිම ගිල ගිල සිටියෝය.
ලොකු අය්යාට තනියම චාටර් වෙන්න දෙන්නට බැරි නිසා මමත් ගේමට බැස්සෙමි. ලොකු අය්යා තනි වචනේ පොරකි. බුවා සිරාවටම ඇමරිකන් දේ වර්ජනය කරන බවක් මටද පෙනෙන්නට තිබුනි.
අය්යාගේ හෙයා වැක්ස් එක නිව්සීලන්ඩ් ය. ශර්ට් ඔක්කොම ෆ්‍රාන්ස්, ඉටලි වලින් ගෙනා ඒවාය. ඉතිං අය්යාට ඇමරිකන් අටමගල වලින් තඹ දොයිතුවක වත් වැඩක් නැත. අය්යා නම් පට්ට සිරාය.
කොම්පියුටර් සමග හැප්පෙන මට ඇමරිකන් කාරයා වර්ජනය කිරීම ජොබ් එකට පවා කෙලවීමට හේතු විය හැකිය. ගූගල් දෙයියා නැතිදා අපිට රස්සාවල් නැති බව දන්නේ මේ නරාවලේ ඉන්නා උන් පමනය.
ගූගල් දෙයියා කෝප කර ගැනීමට ඇති අකමැති බව නිසාම ඇමරිකන් කාරයින්ගේ බුකිය සහ බ්ලොගරය වසා දැමීමට මම තීරණය කලෙමි. එය ඇමරිකන් කාරයාට හරිම තදින් දැනෙන්නෙට ඇත.
බුකිය සහ බ්ලොගරය වැසීමෙන් පසු මට පට්ට විදියට කාලය ඉතුරුවිය. එනිසාම මම කසාද බඳින්නට තීරණය කලෙමි. ඔන්ලයින් ජීවිතයට තාවකාලිකව සමුදුන් මම සැබෑ ජීවිතයට වැඩි කාලයක් කැප කලෙමි.
කීබෝඩ් මවුස් සමග පැය 24ම ගත නොකර අපි අපේම නිවසක දැන් ඉතාමත් සතුටින් ජීවත් වන්නෙමු. කසාදය හිර ගෙයක් නොවී මා වැනිම එකියක් ලැබීම ගැන මම ඉතාම සතුටු වන්නෙමි.
ඉස්පාසු ලද මොහොතක මාගේ ටැටූ එකද තවත් වෙනස් කල අතර මගේ ආදරණීය බිරිඳටද ඇගේ වසර ගනනක් පැවති ටැටූ සිහිනය සැබෑ කර ගැනීමට ඉඩ සලස්වා දුන්නෙමි. දැන් නම් ජීවිතේ මල්ය.
මේ සියල්ල අස්සේ ඊයේ පෙරේදා ලොකු අය්යා අමු හොරෙක් බව මට මාට්‍ටු විය. ඌ අපිට ලොරි ටෝක් දුන්නට උගේ වෙබ්සයිට් එක ඇත්තේ ඇමරිකාවේය. අපි නිකම් ඌට කඩේ ගොස් ඇත.
මේ ගැන කෝපයට පත් මම වහාම මගේ බ්ලොගර් එකවුන්ට් එක සහ බුකිය ඇක්ටිවේට් කලෙමි. දැන් ඉතිං ආයෙත් බිස්නස් ඈස් යූශුවල්ය. ඉස්සර තරම් ලියන්න නොලැබුනත් ආයෙත් ලියන්නෙමි.